කාලගුණය

අඩු පීඩන කලාපය පැය 24කින් පීඩන අවපාතයක් වෙයි

අඩු පීඩන කලාපය ඉදිරි පැය 24ක කාලය තුළ පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම අඩු පීඩන කලාපය දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා තිබේ. එහි බලපෑම හේතුවෙන් බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය ඉහළ යා හැකි බව සඳහන් වේ.

මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාවට අවධානයෙන් කටයුතු කරන ලෙසත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන සහ අනාවැකි පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කරන ලෙසත් දැනුම් දී තිබේ.

මේ අතර, කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

දිවයින වටා අනෙකුත් මුහුදු ප්‍රදේශවලද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

සුළං නිරිතදිග දෙසින් හමා එන අතර, එහි වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකිය.

එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0ත් 2.5ත් අතර උසකට ඉහළ යාමේ හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, එම කාලය තුළ මුහුදු තත්ත්වය තාවකාලිකව ඉතා රළු විය හැකි බවටද අනතුරු ඇඟවීමක් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button