අද විශේෂ

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය 2026: “ළමා පිළිකාව ජය ගැනීම”

 

අද (15) දිනට යෙදී ඇති ජාත්‍යන්තර ළමා පිළිකා දිනය මෙවර “ළමා පිළිකාව ජය ගැනීම අත්දකිමු” යන තේමාව යටතේ සමරනු ලබයි. මෙම තේමාව මඟින් ලොව පුරා ළමා පිළිකා රෝගීන් සඳහා සමාන හා සාධාරණ සත්කාරයක් ලබාදීමේ අවශ්‍යතාවය සහ ඒ සඳහා ගෝලීය එකමුතුවේ වැදගත්කම අවධාරණය කරයි.

ජාත්‍යන්තර ළමා පිළිකා දිනයේ ප්‍රධාන අරමුණ වන්නේ ළමා පිළිකා පිළිබඳව සමාජය දැනුවත් කිරීමත්, පිළිකාවෙන් පීඩා විඳින දරුවන්ට, ඔවුන්ගේ පවුල්වලට සහ සෞඛ්‍ය සේවා සපයන්නන්ට සහයෝගය පළ කිරීමත්ය. සෑම වසරකම මෙම දිනයට සමගාමීව ලොව පුරා විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන්, සාකච්ඡා හා ප්‍රචාරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වේ.

උපතේ සිට වයස අවුරුදු 19 දක්වා වයස් සීමාව තුළ හඳුනාගන්නා පිළිකා “ළමා පිළිකා” ලෙස හැඳින්වේ. ලොව පුරා සෑම වසරකම ළමා පිළිකා රෝගීන් ලක්ෂ 4ක් පමණ අලුතින් හඳුනාගනු ලබන අතර, එය ළමා රෝග හා මරණවලට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙයි.

ජාතික පිළිකා ලේඛනයට අනුව 2022 වසරේදී ශ්‍රී ලංකාවේ ළමා පිළිකා රෝගීන් 940 දෙනෙකු වාර්තා වී ඇත. එයින් පිරිමි ළමුන් 499 දෙනෙකු සහ ගැහැණු ළමුන් 441 දෙනෙකු ලෙස හඳුනාගෙන තිබේ. එසේම 2021 වසරේදී රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ළමා පිළිකා හේතුවෙන් මරණ 199ක් වාර්තා කර ඇති අතර, ඒ අතර පිරිමි ළමුන් 121 දෙනෙකු සහ ගැහැණු ළමුන් 78 දෙනෙකු අයත් වේ.

ළමුන් අතර බහුලව වාර්තා වන පිළිකා අතර ලියුකේමියාව (ලේ පිළිකා), ලිම්ෆෝමා (වසා ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා), මොළයේ පිළිකා සහ අස්ථි ආශ්‍රිත පිළිකා ප්‍රධාන වේ. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ලියුකේමියාව සහ මොළයේ පිළිකා හේතුවෙනි.

ළමා පිළිකා රෝග කාලයේම හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාදීමෙන් සම්පූර්ණ සුවය ලබාගැනීමේ හැකියාව ඉහළය. උසස් ආදායම් ලබන රටවල මූලික රෝග විනිශ්චයෙන් පසු අවුරුදු 5ක ජීවත්වීමේ අනුපාතය 80%කට වඩා ඉහළය. එහෙත් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල එය 10% සිට 50% දක්වා පරාසයක පවතී.

මෙම අසමානතාවයට හේතු වන්නේ රෝග විනිශ්චය ප්‍රමාද වීම, නිවැරදි විනිශ්චය ලබාගැනීමේ ගැටලු, ප්‍රතිකාර වෙත ප්‍රවේශයේ බාධා, ප්‍රතිකාර අත්හැරීම සහ අතුරු ආබාධ යනාදියයි.

ළමා පිළිකා රෝගියෙකුට ප්‍රතිකාර කිරීම සංකීර්ණ සහ අභියෝගාත්මක ක්‍රියාවලියක් වන අතර, එය රෝගියා, පවුල සහ සෞඛ්‍ය සේවා කණ්ඩායම් අතර සමීප සහයෝගීතාවයකින් සිදුකළ යුතුය.

ජාතික පිළිකා මර්දන වැඩසටහන සඳහන් කරන්නේ රට තුළ ළමා පිළිකා සත්කාර සේවා නිරන්තර අධීක්ෂණයට ලක්කරමින් ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බවයි. එසේම මහරගම අපේක්ෂා රෝහල මගින් ළමා පිළිකා රෝගීන්ට විශේෂිත ප්‍රතිකාර සේවා සැපයීම සිදු කරයි.

ළමා පිළිකා සත්කාරය ශක්තිමත් කිරීම සඳහා 2024 සිට 2026 දක්වා තුන් අවුරුදු ජාතික සැලැස්මක්ද ක්‍රියාත්මක වෙයි. 2024දී අභියෝග සහ අසමානතා හඳුනාගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, 2025දී ඒවාට මුහුණදීම සඳහා සහයෝගී ප්‍රයත්න සහ නව්‍ය ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කර ඇත. 2026දී “ළමා පිළිකාව ජය ගැනීම අත්දකිමු” යන තේමාව යටතේ එකමුතුවින් ලබාගත් සාර්ථකත්වයන් තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණ වේ.

ළමා පිළිකා රෝගය කලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාදීමෙන් සුවය ලබාගත හැකි බැවින්, ළමා රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා සියලු පාර්ශ්ව එකමුතුවෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව බලධාරීන් අවධාරණය කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button