කාලගුණය

මාතර ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි

මාතර ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි එම හේතුවෙන් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

අධික වර්ෂාවත් සමඟ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අකුරැස්ස, පස්ගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක මාර්ග සහ පහත් බිම් ජලයෙන් යටවී ඇත.

අකුරැස්ස – සියඹලාගොඩ – පස්ගොඩ මාර්ගයේ හෝන්දුගොඩ ප්‍රදේශය ගංවතුරට හසුවීමත් සමඟ එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.

ඒ හේතුවෙන් ජනතාව විකල්ප මාර්ග භාවිත කළද, එම මාර්ගවල විශාල වලවල් පැවතීම නිසා ගමනාගමනය දැඩි ලෙස දුෂ්කර වී තිබේ.

අකුරැස්ස – මාරගොඩ මාර්ගය ද විකල්ප මාර්ගයක් ලෙස භාවිත කෙරෙන අතර, මේ වනවිට එහි ඇතැම් කොටස්ද ගංවතුරට යටවෙමින් පවතී.

මොරවක – නෙළුව මාර්ගයේ පහත් බිම් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී ඇත.

මේ අතර, නිල්වලා ගඟේ ඉවුරුවල තිබූ විශාල උණ පඳුරු ගඟේ සැඩ පහරට හසුව ගසාගෙන යන ආකාරය ද දැකගත හැකි වී තිබේ. එම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශවාසීන් අතර බියක්ද හටගෙන ඇත.

කෙසේ වෙතත්, සාමාන්‍යයෙන් ගංවතුරට ලක්වන අකුරැස්ස – කඹුරුපිටිය මාර්ගයේ හෝන්දුගොඩ කොටස මෙවර එවැනි තත්ත්වයකට පත්ව නොතිබීම විශේෂත්වයකි.

ගංවතුර තත්ත්වය හමුවේ කඹුරුපිටිය මාර්ගයේ ගමන් කරන ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා අතුරලිය ප්‍රාදේශීය සභා සභාපති නුවන් රත්නායක මහතා විසින් ඔරුවක්ද සූදානම් කර තිබේ.

නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක පහත් බිම් ප්‍රදේශ සඳහා සුළු ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගඟ ආශ්‍රිත පහත් බිම්වල පදිංචිකරුවන් දැඩි අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මාතර දිස්ත්‍රික්කයට විටින් විට ධාරානිපාත වර්ෂාව ඇදහැලෙමින් පවතින බැවින් ජන ජීවිතයට එල්ල වී ඇති බලපෑම තවදුරටත් වර්ධනය වෙමින් පවතී.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය හමුවේ අකුරැස්ස සහ අතුරලිය ප්‍රාදේශීය සභාවල සේවකයින් කඩිනමින් ක්‍රියාත්මක වෙමින් ජනතාවට අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button