ව්‍යාපාරික

TikTok නිර්මාතෘ Zhang Yiming ආසියාවේ දෙවැනි ධනවතා වෙයි

ByteDance සමාගමේ වටිනාකම ඉහළ යාමත්, AI ක්ෂේත්‍රයේ එහි වේගවත් වර්ධනයත් සමඟ TikTok නිර්මාතෘ Zhang Yiming ආසියාවේ දෙවැනි ධනවත් පුද්ගලයා බවට පත්ව ඇත.

Bloomberg Billionaires Index දත්ත අනුව ඔහුගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 92.8 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ හේතුවෙන් ඉන්දීය ව්‍යාපාරික Mukesh Ambani තෙවැනි ස්ථානයට පහළ බැස තිබේ. Ambaniගේ වත්කම ඩොලර් බිලියන 86.9ක් ලෙස සටහන් වේ.

Bloomberg ආයතනය 2019 වසරේ Zhangගේ වත්කම් නිරීක්ෂණය ආරම්භ කළ අවස්ථාවේ එය ඩොලර් බිලියන 13ක් පමණ වූ අතර, මේ වන විට එය හත් ගුණයකට වැඩි වී තිබේ.

මෙම වර්ධනයට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ TikTok යෙදවුමේ අඛණ්ඩ ජනප්‍රියත්වය සහ ByteDance විසින් සංවර්ධනය කළ Doubao AI චැට්බොට් සේවාවේ සාර්ථකත්වයයි. Doubao මේ වන විට මාසිකව මිලියන 300කට අධික පරිශීලකයින් පිරිසක් භාවිත කරන බව වාර්තා වේ.

එමෙන්ම ByteDance සමාගම සිය අමෙරිකානු ව්‍යාපාරයේ කොටස් කිහිපයක් ආයෝජකයින් වෙත පැවරීමත් සමඟ, TikTok සම්බන්ධයෙන් පැවති නියාමන අවිනිශ්චිතතා සැලකිය යුතු ලෙස අඩුවී ඇත.

මේ හේතුවෙන් Bloomberg විසින් ByteDance තක්සේරු කිරීමේදී යොදාගෙන තිබූ අවදානම් කප්පාදුව 25% සිට 10% දක්වා අඩු කර ඇත. BlackRock, Fidelity සහ T. Rowe Price වැනි ආයෝජන සමාගම්වල තක්සේරු කිරීම් ද සැලකිල්ලට ගෙන Zhang Yimingගේ වත්කම ඩොලර් බිලියන 24කින් පමණ ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස Gautam Adani තවදුරටත් පෙරමුණේ පසුවන අතර, ඔහුගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 117.4ක් ලෙස වාර්තා වේ.

මේ අතර ByteDance සමාගම Doubao AI සේවාව සඳහා මාසික දායකත්ව ගාස්තු හඳුන්වාදීමට ද සූදානම් වෙමින් සිටින අතර, AI තාක්ෂණය සඳහා මේ වසර තුළ ඩොලර් බිලියන 70කට ආසන්න මුදලක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ආයෝජන සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමට, 2025 වසරේදී උපයාගත් ඩොලර් බිලියන 50කට ආසන්න ලාභය භාවිත කිරීමට සමාගම බලාපොරොත්තු වන බවද සඳහන් වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button