ව්‍යාපාරික

රුපියලේ ස්ථාවරත්වයට ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි

ශ්‍රී ලංකා රුපියලට එල්ල වන පීඩනය අවම කර ගැනීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම වැදගත් බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.

ඔහු සඳහන් කරන්නේ වෙළෙඳපොළ යථාර්ථයට අනුව ඉන්ධන මිල ගැලපීම ප්‍රමාද වුවහොත්, දේශීය මුදල් ඒකකය මත තවදුරටත් පීඩනයක් ඇතිවිය හැකි බවය.

මෑතකදී නිකුත් වූ දත්තවලට අනුව, මැයි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 220කට ආසන්න මුදලක් වෙළෙඳපොළට නිකුත් කර ඇති අතර, එම ක්‍රියාවලිය හරහා වෙළෙඳපොළේ සංසරණය වූ රුපියල් ප්‍රමාණයක් යළි මහ බැංකුව වෙත ඇදී ගොස් ඇති බවද ඔහු පැහැදිලි කළේය.

එම තත්ත්වය රුපියල නැවත අධිප්‍රමාණය වීමට යම් බලපෑමක් එල්ල කළ බවද ඔහුගේ අදහස වේ. එසේම ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ දේශීය වෙළෙඳපොළ තුළ ඩොලර් ඉල්ලුමද වර්ධනය වන බැවින්, මිල සූත්‍රයට අනුකූලව ඉන්ධන මිල සංශෝධනය කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

මේ අතර, තෙවන පාර්ශවයක් අතට පත්ව ඇතැයි කියන ඩොලර් මිලියන 2.5ක මුදල යළි අය කර ගැනීමට නොහැකි වුවහොත්, එහි මූල්‍ය බර අවසානයේ ජනතාව මත බදු හරහා පැටවිය හැකි බවද ධනනාත් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“රුපියලට එල්ලවන පීඩනය අඩු නම් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණය කිරීම අනිවාර්යයි. මැයි මාසයේ 21 සහ 22 දිනවල රුපියල සීඝ්‍රයෙන් අවප්‍රමාණය වෙලා නැවත අධිප්‍රමාණය වීම සම්බන්ධයෙන් දැන් නවතම දත්ත නිකුත්වෙලා තියෙනවා. ඒ අනුව මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ මහ බැංකුව දල වශයෙන් අමෙරිකන් ඩොලර් මිලියන 220කට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොළට විකුණලා තියෙනවා. ඒ කියන්නේ ඩොලර් වෙළෙඳෙපොළට නිකුත්කරලා වෙළෙඳපොළේ තිබුණු රුපියල් මහ බැංකුවට යළිත්වරක් අරගෙන තියෙනවා. ඉතින් ඒකත් යම් බලපෑමක් එල්ල කළා අනිවාර්යෙන්ම දැන් තිබෙන විදිහට රුපියල නැවතවරක් අධිප්‍රමාණය වෙන්න. ඉතින් අපි වෙළෙඳපොළට ගැලපෙන ආකාරයට අපේ තෙල්වල මිල ගැලපුවේ නැත්නම් දිගින්දිගටම ලෝක වෙළෙඳපොළේ තෙල්වල මිල ඉහළ යනවත් එක්කම අපේ වෙළෙඳපොළෙන් ඩොලර් සඳහා යන මිල ඉතාමත් අධික වෙනවා.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button