
වෙළෙඳ ප්‍රජාවගෙන් ඇමති වසන්තට විරෝධය
දිවයිනේ ප්රමුඛ ආර්ථික මධ්‍යස්ථාන පහක් පවතින පරිපාලන ක්‍රමයෙන් ඉවත් කර වෙනම සමාගමක් යටතට පත් කිරීමට රජය ගෙන ඇති තීරණයට තම දැඩි විරෝධය පළ කරන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳසැල් හිමියන් විසින් විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට දැනුම් දී ඇත.
ඊයේ (31) පස්වරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක් අතරතුර මෙම කරුණු අවධාරණය කර තිබේ.
නව සමාගමක් ස්ථාපිත කර අධ්‍යක්ෂකවරුන් 7 දෙනෙකු පත් කරමින් දැනට කළමනාකරණ භාරයක් යටතේ පවත්වාගෙන යන ආර්ථික මධ්‍යස්ථාන පහක් එම සමාගමට පවරා දීම පිළිබඳව වෙළෙඳ ව්‍යාපාරිකයින්ට මෙහිදී දැනුවත් කිරීම සිදු කර ඇත.
මෙහිදී අමාත්‍යවරයා සහ වෙළෙඳ ප්‍රජාව අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, වසර 35කට අධික කාලයක් වෙළෙඳුන් විසින් පවත්වාගෙන ආ මෙම ආයතන කිසිදු දැනුම්දීමකින් තොරව වෙනත් කණ්ඩායම්වලට පවරා දීමට තමන් කිසිසේත් එකඟ නොවන බව වෙළෙඳ ව්‍යාපාරිකයින් සෘජුවම අමාත්‍යවරයාට පවසා ඇත.
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ නව සමාගමක් ස්ථාපිත කිරීමේ අරමුණ ආර්ථික මධ්‍යස්ථාන කාර්යක්ෂමව පරිපාලනය කර ජනතාවට සාධාරණ වෙළෙඳපොළක් ලබා දීම බවයි.
ඒ අනුව දඹුල්ල, නුවරඑළිය, තඹුත්තේගම, කැප්පෙටිපොළ සහ නාරාහෙන්පිට යන ආර්ථික මධ්‍යස්ථාන නව සමාගම යටතට පත් කර ඒවායෙන් ලැබෙන මාසික බදු ආදායම් සියල්ල ලබන මාසයේ සිට එම සමාගමට ගෙවිය යුතු බව අමාත්‍යවරයා දැනුම් දී ඇත.
මෙම ක්‍රියාවලියෙන් ගොවීන්ගේ හෝ වෙළෙඳුන්ගේ අයිතිවාසිකම් කිසිදු ආකාරයකින් අහිමි නොවන බවද ඔහු අවධාරණය කළේය.
කෙසේ වෙතත්, වෙළෙඳ ප්‍රජාව මේ පිළිබඳ දැඩි විරෝධය පළ කරමින් සඳහන් කළේ කිසිදු සූක්ෂම අධ්‍යයනයක් හෝ පෙර දැනුම්දීමක් නොමැතිව නව ආයතනයක් පිහිටුවා තමන් පවත්වාගෙන ආ ව්‍යාපාර පවරා දීමට නොහැකි බවයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසර 29ක් පුරා රජයෙන් කිසිදු මුදලක් නොගෙන සියලු සංවර්ධන කටයුතු සිදුකර ඇති අතර, මේ වන විට කළමනාකරණ භාරය යටතේ රුපියල් කෝටි 25කට ආසන්න මුදලක් ඉතිරිව පවතින බවද ඔවුන් පෙන්වා දී ඇත.
මෙවැනි පසුබිමක් තුළ, නොදන්නා නව සමාගමකට තම අයිතිවාසිකම් පවරා දීමට කිසිසේත් සූදානම් නොවන බව වෙළෙඳ ව්‍යාපාරිකයින් පැහැදිලි කර ඇත.
මෙම විරෝධය හමුවේ, නව සමාගම පිළිබඳව සහ වෙළෙඳ ප්‍රජාව සමඟ ඇතිවිය හැකි ගිවිසුම් පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට ඉදිරියේදී දිනයක් ලබා දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.



