
ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවියට තහනමක්
ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
දේශීය වෙළෙඳපොළේ අලෙවි වන පොල්තෙල්වලට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගැනීමට තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ කරුණු ඉදිරිපත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාසේන මහත්මිය මේ බව සඳහන් කළාය.
ඒ සඳහා අදාළ ගැසට් නිවේදනය මේ වනවිට සකස් කර අවසන් කර ඇති අතර, එය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බවද ඇය පැවසුවාය.
නව අවශ්‍යතා ක්‍රියාත්මක වූ පසු ඇසුරුම් කර අලෙවි කරන පොල්තෙල්වල නිෂ්පාදනයේ නම, බර, කල් ඉකුත්වීමේ දිනය, කාණ්ඩ අංකය සහ නිෂ්පාදකයාගේ තොරතුරු ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු ලේබලයේ සඳහන් කිරීම අනිවාර්ය වේ.
එමෙන්ම දේශීය වෙළෙඳපොළේ අලෙවි කරන පොල්තෙල් සඳහා අවශ්‍ය ගුණාත්මක ප්‍රමිතීන් පවත්වාගෙන යාමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමඟ එක්ව කටයුතු කරන බවද සමන්තා කරුණාසේන මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.



