ව්‍යාපාරික

බොරතෙල් මිල සුළු ලෙස පහළට

ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (31) දිනයේ සුළු වශයෙන් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 1.71කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 82.16ක් ලෙස සටහන් වී තිබේ. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිලද සියයට 1.16කින් අඩුවී අමෙරිකානු ඩොලර් 88ක් දක්වා පහළ ගොස් ඇති අතර, මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 2.60කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 85.71ක් ලෙස වාර්තා වී ඇත.

මේ අතර, මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව අද (31) දිනයේ සිදුකෙරෙන මිල සංශෝධනය පිළිබඳ අවධානය යොමුව තිබුණද, මේ අවස්ථාවේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදුකිරීමට සූදානමක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අදහස් දැක්වූ සංස්ථා සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේ, ලෝක බොරතෙල් වෙළෙඳපොළේ පවතින අවිනිශ්චිතතාව හේතුවෙන් මේ මොහොතේ ඉන්ධන මිල අඩු කිරීම සුදුසු නොවන බවයි.

එහිදී අදහස් දැක්වූ ඔහු, පසුගිය කාලයේ ජාත්‍යන්තර බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගියද දේශීය ඉන්ධන මිල වැඩි කළේ සියයට 4ක පමණ ප්‍රමාණයකින් බව සඳහන් කළේය.

ඉන්ධන මිල ගණනය කරන ආකාරය පිළිබඳද පැහැදිලි කළ ඔහු, ජූලි මාසයේ 92 ඔක්ටේන් පෙට්‍රල් සඳහා ගොඩබෑමේ පිරිවැය, සැකසුම් වියදම්, ප්‍රවාහන ගාස්තු, ඩීලර් මාර්ජින්, බදු සහ අනෙකුත් පිරිවැය එකතු කර අවසාන මිල තීරණය කරන බව කාරක සභාවට දැනුම් දුන්නේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button