
මැදපෙරදිග අර්බුදය මැද රන් මිල පහළට
ගල්ෆ් කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය උද්ධමනය යළි ඉහළ යා හැකි බවට ආයෝජකයන් තුළ මතුව ඇති කනස්සල්ල අතර, ලෝක වෙළෙඳපොළේ රන් මිල පහත වැටී තිබේ.
වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, උද්ධමන පීඩනය ඉහළ යා හැකි බැවින් අමෙරිකානු ෆෙඩරල් රිසර්ව් බැංකුව තවදුරටත් පොලී අනුපාත ඉහළ නැංවීමට ඉඩ ඇති බවට ආයෝජකයන් අපේක්ෂා කරන බවයි. එම තත්ත්වය හේතුවෙන් පොලී ආදායමක් නොලැබෙන රන් වැනි වටිනා ලෝහ සඳහා ඇති ඉල්ලුම දුර්වල වී ඇත.
ඒ අනුව, ක්ෂණික රන් මිල සියයට 0.9කින් පහළ ගොස් රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,049.90ක් ලෙස සටහන් වී තිබේ. එසේම අගෝස්තු මාසය සඳහා වන රන් අනාගත ගිවිසුම් මිලද සියයට 0.8කින් පහළ ගොස් ඩොලර් 4,063.50ක් දක්වා අඩු වී ඇති බව වාර්තා වේ.
මැදපෙරදිග සාම සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාවද රන් වෙළෙඳපොළට බලපා ඇති බව විශ්ලේෂකයෝ සඳහන් කරති.
මේ අතර, කලාපීය අර්බුදය හේතුවෙන් බොරතෙල් මිල ඉහළ යාම ගෝලීය උද්ධමන පීඩනය නැවත වැඩි කිරීමට හේතු වී ඇත.
සාමාන්‍යයෙන් උද්ධමනයට එරෙහි සුරක්ෂිත ආයෝජනයක් ලෙස රන් සැලකුණද, පොලී අනුපාත ඉහළ මට්ටමක පවතින විට එහි ආකර්ෂණය අඩුවීම සාමාන්‍ය තත්ත්වයකි. ඊට ප්‍රධාන හේතුව වන්නේ රන් සන්තකයේ තබා ගැනීමෙන් ස්ථාවර පොලී ආදායමක් නොලැබීමයි.
වෙළෙඳපොළ දත්ත අනුව, මෙම වසර තුළ ෆෙඩරල් රිසර්ව් බැංකුව තවත් වාර තුනකදී පොලී අනුපාත ඉහළ නැංවීමට ඉඩ ඇති අතර, සැප්තැම්බර් මාසයේදී එවැනි තීරණයක් ගැනීමේ සම්භාවිතාව සියයට 61ක් පමණ වන බවද සඳහන් වේ.



